මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලට බැර කිරීම නවත්වන්න - දයාසිරිගෙන් මැතිසබයට යෝජනාවක්


සුජිත් හේවාජුලිගේ

දේශපාලන පක්ෂ මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට බැරකිරීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සජබ කුරුණෑගල දිස්ත්‍රික් පා. මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහජන නියෝජිතයන්ගේ මාසික වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය පක්ෂවලට ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහෝසි වෙන ක්‍රියාවලියක් හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදයට ද අභියෝගයක් බව යෝජනාවේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ අලු‍ත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.

මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා පක්ෂවල අරමුදල්වලට බැර කර ගැනීමට එරෙහිව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ද සංවාද ඇති විය.