මන්ත්‍රී ආරක්ෂාව ආපසු දීම ආණ්ඩුව අතේ - විපක්ෂ මන්ත්‍රීන්ට පොලිස්පති කියයි


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත එළඹුනු එකක් හෙයින් නැවත ආරක්ෂාව ලබාදීමට ආණ්ඩුව තීරණයක් ගත යුතු බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කර ඇත.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ  පක්ෂ නායකයන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (31දා) සිකුරාදා පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස්පතිවරයාගෙන් එහිදී ප්‍රශ්න කර ඇත. පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණු බව දැනගන්නට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සියල්ල අදාළ බලධාරීන්ට යොමු කර ඇති බවයි.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද කථානායකවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

ඊට ප්‍රතිචාර දක්වා ඇති පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා කර  ඒ සඳහා විසඳුමක් දෙන බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර,  මුජිබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා, සුජීව සේනසිංහ, ජගත් විතාන, දිලිත් ජයවීර, රවී කරුණානායක, රෝහිත අබේගුණවර්ධන, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් ඇතුළු පිරිසක් ද පොලිසියේ තවත් උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් දීර්ඝව සාකච්ඡා කර ඇත.