පොලිසියට අලුතින් එන අයට මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
- මතට ඇබ්බැහි වූ අය ගැන හොයන විශේෂ කාර්යාංශය සීරුවෙන්
උපුල් වික්‍රමසිංහ
පොලිස් සේවයට බඳවා ගැනීමේ දී රුධිර පරීක්ෂාවක් (Drug Test) කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න පරීක්ෂා කර මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හෙළි වෙන අය මින් ඉදිරියට පොලිස් සේවයට බඳවා නොගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ කාර්යාංශය සක්‍රීය කර ඇති බව ද අමාත්‍යවරයා කීවේ ය.
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගෙවුණු කාලයේ දී පොලිස් නිලධාරීන් 325 කගේ වැඩ තහනම් කර ඇතැයි කී අමාත්‍යවරයා එයින් 60 දෙනෙකු පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇතැයි ද සඳහන් කළේ ය.
පොලිස් සේවයේ ඉන්නා අය ද විටින්විට රුධිර පරීක්ෂණවලට භාජනය කර මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ ද යන්න පරීක්ෂා කරන බව ද මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හෙළි වුව හොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
රුධිර සාම්පල් පරීක්ෂා නොකර පොලිස් සේවයට කිසිවෙකු බඳවා නොගන්නා බව කී හෙතෙම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන ඕනෑම තරාතිරමක නිලධාරියෙකු ගැන පරීක්ෂා කරන බව ද තහවුරු කළේ ය.