මට විරුද්ධව ඡන්දෙ දෙන්න කලින් දෙවරක් හිතන්න


උපුල් වික්‍රමසිංහ

මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයකු ඉවත් කිරීමට පක්ෂව ඡන්දය දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන කළ විමසීමක දී සභාපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.
විධායක ජනාධිපතිවරයාට කළ නොහැකි එකම දේ ගැහැනියක පිරිමියකු බවට පත් කිරීම යැයි කීව ද එයද මේ වන විට සැත්කමකින් කළ හැකි යැයි කී ඒ මහතා විධායක ජනාධිපතිවරයාට කළ නොහැකි එකම දෙය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අත්තනෝමතිකව ඉවත් කිරීම බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 කගේ ඡන්දය අවශ්‍ය බවත් කියා සිටියේය.


මේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය මුළුමනින්ම උල්ලංඝනය වෙන බව පවසන ඒ මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කර ඒ වෙනුවට විදුලිබල කොමිසමක් පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එම කොමිසමේ සියලු‍ සාමාජිකයන් පත් කිරීමේ බලය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත පැවරෙන බවත් සඳහන් කළේය. 


ජනක රත්නායක මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය.