ප්‍රේමකීර්ති රණතුංග
පරිගණක හැකරකු පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට මහා භාණ්ඩාගාරයේ ප්‍රශ්නගත පරිගණකයේ පාලනය අත්පත් කරගෙන ඇති අතර භාණ්ඩාගාර නිලධාරීන් ඩොලර් මිලියන දෙක හමාරක මුදල යවා ඇත්තේ හැකරා එවූ ගිණුම් අංකයකට බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
මේ හේතුවෙන් මහ බැංකුව සහ භාණ්ඩාගාරය අතර හුවමාරුවූ ලිපි ගණනාවක් පරිගණක හැකරා අතට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මහා භාණ්ඩාගාරයෙන් ඔස්ට්‍රේලියාවේ ණය දෙන ආයතනයකට කළ ඩොලර් මිලියන දෙක හමාරක (රුපියල් කෝටි හැත්තෑ අටක) ගෙවීමක් පරිගණක හැකරුන්ගේ ව්‍යාජ ගිණුමකට යවා ඇතැයි මුලින්ම හෙළිදරව් කළේ මෛත්‍රී ගුණරත්න විසිනි .
ඉරිදා ලංකාදීපය කළ විමසුමක දී ඔහු මෙසේද සඳහන් කළේය.
“ඔස්ට්‍රේලියාවේ ආයතනයකින් රජය ලබාගත් ණය මුදලේ වාරික කිහිපයක් රජය කලින් ගෙවලා තියෙනවා. පරිගණක හැකරා මෙම ගෙවීම් කරන පරිගණකය රහසේම අත්පත් කරගෙන ඇත්තේ ඒ අතර කාලයේ. ඉන් පසුව එම පරිගණකයේ ඇති දත්ත හැකරා විසින් තවත් පාර්ශ්වයකට විකුණා ඇති බවයි දැනගන්නට ඇත්තේ. පරිගණකයට ඇතුළු වූ එම හැකරා එහි තිබූ දත්ත ආශ්‍රයෙන් රජයේ ප්‍රධාන මූල්‍ය ආයතන අතර හුවමාරුවූ ලිපි සියල්ල කියවා ඔස්ට්‍රේලියානු ආයතනය බව හඟවමින් මුදල් බැර කළ යුතු ගිණුම් අංකයක් එවා තිබෙනවා. භාණ්ඩාගාරය මීළඟ වාරිකය ගෙවා ඇත්තේ හැකරා එවූ එම ගිණුම් අංකයටයි. ගෙවීම සිදුවුවත් මුදල් ලැබුණු බවට තහවුරුවක් අදාළ ආයතනයෙන් ලැබී නැති නිසා රජය කළ පරීක්ෂාවේ දී මෙම වංචාව හෙළි වී ඇති බවද මෛත්‍රී ගුණරත්න සඳහන් කළේය .
පරිගණකයක මුර පද සොරාගෙන අනවසරයෙන් ඇතුළුවන්නන් හැකරුන් ලෙස හැඳින්වේ.

