බීම සමාගම් 33ක් ජලය ගන්න තැන් හංගලා


සුජිත් හේවාජුලිගේ

ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති මෙරට ජලය බෝතල් කරන සහ බීම නිෂ්පාදනය කරන ආයතන 42 අතුරින් තමන් ජලය ලබා ගන්නා මූලාශ්‍රවලින් ජල නියැදි පරීක්ෂා කර ඉදිරිපත් කර ඇත්තේ ආයතන නවයක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ජලය බෝතල් කරන සහ බීම නිෂ්පාදනය කරන ආයතන මාස හයකට වරක් තමන් ජලය ලබා ගන්නා මූලාශ්‍රවලින් ගත් නියැඳි රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ලබාගන්නා වාර්තා ජල මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

එහෙත් කාලයක සිට ඉහත ආයතන එම නීතිය අනුව කටයුතු කර නැතැයි විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජල සම්පත් මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

මේ අතර රජයේ ලියාපදිංචි නොවී වතුර බෝතල් කරන ආයතන  දහස් ගණනක් රට පුරා පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.