බස්රථවලින් කප්පම් ගැනීම වැඩි වෙයි


ඉන්දික හේවාවිතාරණ

බස් රථවලින් කප්පම් ලබා ගැනීම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන නිසා මෙම තත්ත්වය පලනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

කෙටි ගමන් සේවා සිදුකරන බස් රථයක් දිනකට රුපියල් 800 - රුපියල් 1000 අතර මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් දුර ගමන් සේවා බස් රථයකට රුපියල් 1200 - රුපියල් 3400, 4000 අතර මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

කෙටිගමන් සේවා බස් රථ ආරම්භ කරන ස්ථානවල සිටින ඇතැම් වේලා සටහන්කරුවන්ට ගමන් ආරම්භයේදී රුපියල් 100 - රුපියල් 200 අතර මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් මීට පෙර රුපියල් 50 - රුපියල් 100 අතර මුදලක් ගෙවීමට බස් රථ කොන්දොස්තරවරුන්ට සිදුවූ බවත් සංගමය පෙන්වා දෙයි. වර්තමානය වන විට රුපියල් 100ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙන අතර ගමන් අවසන් කර ආපසු පැමිණීම ආරම්භ කරන  ස්ථානවලදී පවා ඇතැම් අවස්ථාවල මුදල් ගෙවීමට සිදුව තිබෙන බවත් බස් සේවකයෝ පවසති. මුදල් ඉල්ලා සිටින වේලාව සටහන් කරන්නන්ට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ හොත් ගමන් වාර ප්‍රමාද කිරීම පවා සිදුවෙන බවත් ඔවුහු පවසති.

මගී ප්‍රවාහන බස් රථ සැලකීමේදී සියයට හැටකට වැඩි ප්‍රමාණයක් බස් රථ කොන්දොස්තරවරුන් විසින් දෛනිකව බදු මුදල් ගෙවා ගෙන බස් රථ ධාවනය කරන අතර බස් රථයේ ආදායමෙන් සැලකිය යුතු මුදලක් කප්පම්කරුවන්ට ලබා දීමට කොන්දොස්තරවරුන්ට සිදුව තිබෙන බවද සඳහන් කරයි.

ඍජුවම බස් හිමියන් විසින් ධාවනය කරන බස් රථවලින් කප්පම් මුදල් ලබා ගන්නේ නම් අදාළ මුදල බස් රථ අදායමෙන් ගෙවන නිසා එහි පාඩුව බස් හිමියා දරාගත යුතු බවද එම සංගමය සඳහන් කරයි.