බස් ගාස්තු සම්බන්ධයෙන් අද තීන්දුවක් ගන්නවා ​- ප්‍රවාහන වෘත්තීය සමිති කියයි


ඉන්දික හේවාවිතාරණ

බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් ගන්නා තීන්දුව අද (29දා) ප්‍රකාශයට පත් කරන බව එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලබන 01 වැනි දින සිට බස් ගාස්තුව සියයට 2.5 කින් අඩු කිරීමට රජය යෝජනා කළත් එයට විරෝධය දක්වන බවද එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවෙන්නේ වසරකට එක් වරක් වුවත් මේ වන විට මාසිකව ඉන්ධන ගාස්තු සංශෝධනය වන නිසා බස් ගාස්තු සකස් විය යුත්තේ මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව බව ඔහු පැවසීය.

දැනට පවතින ක්‍රමවේදයට අනුව හෙට (30දා) ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙන බවද යම් ලෙසකින් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ ගිය හොත් රජය ප්‍රකාශයට පත් කළ බස් ගාස්තුවට අනුව බස් රථ ධාවනය කිරීමට නොහැකි වෙන බවද හෙතෙම සඳහන් කළේය. 

පසුගිය කාලයේදී ඩීසල් මිල අඩු වීම සැලකිල්ලට ගෙන අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු සියයට 2.5කින් අඩුකරන බවට රජය යෝජනා කළ බවද ඔහු පැවසීය.

එහෙත් බස් ගාස්තු සංශෝධනයේදී කරුණු 12 ක් සලකා බලන බවත් මේ අනුව ගාස්තු අඩු කිරීමේ යෝජනාවට බස් සංගම් විරෝධය දැක්වූ බවත් හෙතෙම සඳහන් කරයි. 

මේ පිළිබඳව අද (29දා) මගී ප්‍රවාහන සමාගම් 18 ක් එකාබද්ධ වී කොළඹදී සාකච්ඡා කර බස් සංගම්වල මතය ප්‍රකාශ කරන බව ඔහු පැවසීය.

ඉන්ධන මිල මාසිකව සංශෝධන වීම නිසා බස් ගාස්තුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේදී ගැටලු‍ රුසක් ඇතිවී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා ඉන්ධන ගාස්තු සංශෝධනය මාස 06 කට වරක්වත් සිදුකරන ලෙසට ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

යම් ලෙසකින් හෙට ඉන්ධන මිල ඉහළ නොගියත් ලබන මාසයේදී සැලකිය යුතු මුදලකින් ඉහළ ගියහොත් රජය ප්‍රකාශයට පත් කර තිබෙන ගාස්තුවට අනුව බස් රථ ධාවනය කළ නොහැකි වන බව ඔහු පැවසීය.

බස් කර්මාන්තයෙන් නිසි ලෙස ආදායම් නොලැබෙන නිසා පසුගිය කාලයේදී මගී සේවාවලින් ඉවත් වී කාර්යාල සේවා කටයුතුවලට බස් රථ යොමු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.