බලශක්ති ඇමැති ඉවත් කරන්නැයි රජයට බලපෑම්


සුජිත් හේවාජුලිගේ

බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස විවිධ පාර්ශ්ව රජයෙන් දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයෙන් කථානායකවරයාට භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන මස 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතය. එම යෝජනාවට සහාය දැක්වීමට  විපක්ෂයේ බොහෝ පක්ෂ තීරණය කර ඇත.

ඇමති කුමාර ජයකොඩි සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක සහ ඔහු සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක හෙතෙම ඇමැති ධුරයේ තබා ගැනීම සදාචාරාත්මක නොවන බව එම පාර්ශ්ව දැනටමත් පෙන්වාදී ඇත.

බලයට පත්වීමට පෙර සිටි මතවාදී ස්ථාවරයේ සිට කටයුතු කරන ලෙසට ද එම පිරිස් රජයෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබේ. මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ද ඇමති කුමාර ජයකොඩි වහාම එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවය.

මේ අතර ළඟදීම කැබිනට් මණ්ඩලයේ කිසියම් සංශෝධනයකට ද රජයේ සූදානමක් පවතින බවට ආරංචි පැතිර යමින් පවතී.