ඇල්ල ප්‍රසාද් රුක්මල්
දිට්වා සුළි කුණාටුවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවලින් සහ නිවාස නායයාමට ලක්ව අතුරුදන් වූවන්ගේ සිරුරු සොයා සිදුකළ මෙහෙයුම් කටයුතු නවතා දැමූ බවත් 11 දෙනකුගේ සිරුරු සොයාගත් බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන පෙරේදා (19දා) පැවසීය.
පසුගිය 27 වැනි දින ඇතිවූ මෙම ආපදා සමග පස්කඳු කඩා වැටී නිවාස නායයාමට ලක්ව සිරවී, අතුරුදන් ව සිටි පිරිස් සොයා ත්‍රිවිධ හමුදා ව පොලිසිය, ජනතාව මෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්දියානු ජීවිත ගලවාගැනීමේ විශේෂ සහන කණ්ඩායමක් නිල සුනඛයන් මෙන්ම නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෙහෙයුම් කටයුතු සිදු කළහ.
බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගේකන්ද, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකන්ද, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගම, සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටාවත්ත, වෑතැන්න ගම්මානවල මෙසේ පස්කඳු යට අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මෙහෙයුම් කටයුතුවලදි නායයාමට හසුවී පස්කඳු යට සිරවී මියගොස් සිටි කිහිප දෙනෙකුගේ මළසිරුරු සොයා ගත් බවත්, අතුරුදන් වූ සෙසු අයගේ සිරුරු සොයා ගැනීමට අපහසු වූ හෙයින් පවුල්වල උදවියගේ කැමැත්ත පරිදි මෙම මෙහෙයුම් කටයුතු නවතා දැමූ බවත් දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.
කෙසේ වෙතත් දැනට අතුරුදන් ව සිටින පිරිස වෙනුවෙන් එම පවුල්වල නෑදෑයන් පවුලේ උදවිය සමග සාකච්ඡා කර ඔවුනගේ කැමැත්ත පරදි නීත්‍යනුකූල අයුරින් මරණ සහතික ලබා දීමට කටයුතු කරන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

