බදු අභියාචනා කොමිසම ඈවරයි අභියාචනා විමසීම පමාවෙන් කෝටි එකොළොස් දාහක් වතුරේ


සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්ත්වයක පවතින හෙයින්  බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා “ඉරිදා ලංකාදීප”යට පැවැසීය.

එම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය. මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නැතැයි පැවසූ රාජපක්ෂ මහතා එය බරපතළ කාරණයක් බවද  පෙන්වා දුන්නේය.


අභියාචනා විමසීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකි වී තිබෙන බවද  අමාත්‍යවරයා පැවසීය.
මෙම කොමිෂන් සභාවට පසුගිය 2022 වසරේදී බදු අභියාචනා 80ක් ලැබී තිබූ අතර ඉන් එකම අභියාචනාවක් හෝ විභාග කර නොතිබූ බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා 2021 වර්ෂයේදී ලැබී තිබූ බදු අභියාචනා 13 කින් එකක් හෝ විභාගයට ගෙන නොතිබූ බව ප්‍රකාශ කළේය.


බදු අභියාචනා  කොමිසමට පසුගිය 2019 වර්ෂයේදී  ලැබී තිබූ අභියාචනා 169 කින් විභාගයට ගෙන තිබුණේ 18ක් පමණක් බවත් 2020 වර්ෂයේදී  ලැබී තිබූ බදු අභියාචනා 147 කින් විභාග කර තිබුණේ දහයක් පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.