රෝෂන් තුෂාර
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු පාකිස්ථානයෙන් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ස්ථාවරය වහා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන කොළඹ අපරාධ කොට්ඨාසයට ඉකුත් සිකුරාදා (19) නියෝග කළේය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට පාකිස්ථානයෙන් බඩඉරිඟු ආනයනය කිරීම මගින් රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් සිදුව ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය පොදු දේපළ පනත යටතේ පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
රජයට පාඩුවක් සිදුවී ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබියදී එවැනි පාඩුවක් සිදුව නොමැති බවට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ යැයි කියන රජයේ ලේඛනයක් විත්තිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ එම මණ්ඩලය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරයෙකු පෙනී සිටීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත සුභසිංහ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටියද එම මණ්ඩලය විසින් කිසිදු නීතිඥ නියෝජනයක් අධිකරණයට ඉදිරිපත් නොකළ බව වත්මන් අධ්‍යක්ෂ රෝහන් කරවිට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බවය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල බලපත්‍රය යටතේ මෙරටට ආනයනය කළ බඩඉරිඟු කන්ටේනර් 103ක් ආගිය අතක් නොමැති බවත් එම කන්ටේනර් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් මෙතෙක් විමර්ශන සිදුකර ඇත්තේ කන්ටේනර් 57ක් සම්බන්ධයෙන් බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
උප පොලිස් පරීක්ෂකවරයා කරුණු ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.
“2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම බඩඉරිඟු ආනයනය කර තිබෙනවා. මෙම බඩඉරිඟු කන්ටේනර් මගින් රජයට පාඩුවක් සිදුව ඇති බවට පැමිණිල්ලක් 2025 ජූලි මස 23 වැනි දින පොලිසියට ලැබී තිබෙනවා”.
මෙරටට සත්ව ආහාර ආනයනය කිරීමේ එකම බල අධිකාරිය වන ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලයට රාජ්‍ය කොටස නොගෙවීම මගින් මෙම පාඩුව හා වංචාව සිදුව ඇති බවට කරුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරනවා” යනුවෙන් ද ඔහු පැවසීය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තමන්ට එම මණ්ඩලයේ සභාපතිවරයකුගෙන් අධිකරණයේ පෙනී සිටීමට ලිඛිත අවසරයක් ඇති බවට ලේඛනයක් ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී පැමිණිල්ල ඇමතූ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ ලේකම් යැයි කියන පුද්ගලයෙකු විසින් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල ලේඛනයක් බවට ඉදිරිපත් කරනු ලැබූ ලිපිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් 121,864,655.00ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත නොපියවා මෙම වංචාව හා පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.