රංජන් කස්තුරි
පුනර්ජනනීය බලශක්ති භාවිතය හේතුවෙන් ඉකුත් 2024 වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 8,200ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ අලුත්ම දත්ත වාර්තාවක සඳහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය 2023 වසරේ දී තාප බලාගාර සඳහා රුපියල් කෝටි 22,700 ක මුදලක් වැය කර තිබූ අතර 2024 වසරේදී වැය කර ඇත්තේ රුපියල් කෝටි 14,500ක බව ද එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව ජලවිදුලිය සුළං සහ සූර්ය පැනල ආදී පුනර්ජනනීය බල ශක්ති භාවිතය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට එම වසරේ දී රුපියල් කෝටි 8,200ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විවිධ බාධා එල්ල කිරීමට කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව ද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
එමගින් විදුලි බල මණ්ඩලයේ බලධාරීන් තාප බලාගාර සඳහා උනන්දු කිරීමේ කූට උත්සාහයක් ක්‍රියාත්මක වෙන බව ද එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩා පරිමාණ සුළං, සූර්ය පැනල සහ ජලබලාගාර සඳහා පෞද්ගලික ආයෝජකයන්ට අවසර නොදී බාධා කිරීම සූර්ය පැනල විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු අඩු කිරීම ආදී ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් පුනර්ජනනීය බලශක්තිය සඳහා බාධා එල්ල කිරීමට මේ පිරිස දිගින් දිගටම කටයුතු කරමින් තිබෙන බව ද සඳහන් වේ.
වසර 2035 වෙන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවාගෙන රටින් පිටවන විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ රජයේ ප්‍රතිපත්තියට ද පටහැණිව මේ පිරිස කටයුතු කරමින් සිටින බවද පැවසේ.