පුංචි සභා පිහිටුවීම අවුලක: සභික ලැයිස්තු ගොඩක් තව නෑ


සුජිත් හේවාජුලිගේ

බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක් වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් බොහොමයක් සිය සභිකයන්ගේ නාම ලේඛන තවමත් ඉදිරිපත් කර නැති හෙයින් මෙම ගැටලු‍කාරී තත්වය පැන නැගී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට ලැබී ඇති සභිකයන්ගේ නාමලේඛන ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

ලැබෙන ලැබෙන පරිදි නාම ලේඛන ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත අනුව සියලු‍ම පළාත් පාලන ආයතන ලබන  ජුනි මස දෙවැනිදාට පෙර පිහිටුවිය යුතුව ඇත.

සභිකයන් නම් කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල හටගෙන ඇති  විවිධ අර්බුද හේතුවෙන් සභික නාම ලේඛන ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද වී ඇති බව වාර්තාවේ.