පුංචි ආණ්ඩුවල සැප වාහන පිල්ලි ගියා දැයි සොයයි


විගණනයෙන් මැතිසබේට වාර්තාවක්

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
 
පළාත් සභා නවයේ හිටපු මහ ඇමැතිවරුන් ඇතුළු ප්‍රධානීන් පාවිච්චි කළ සුඛෝපභෝගී වාහන 225  සම්බන්ධයෙන්  පැහැදිලි විගණනයක් කර වාර්තාවක් පාර්ලිමේන්තුවට බාර දෙන්නැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
 
මේ අනුව විගණකාධිපතිවරයා මේ පිළිබඳ වාර්තාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට බාර දෙනු ඇත.

එම වාහන  අවභාවිතා වෙන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන  මෙම ඉල්ලීම කළ බවද වක්කුඹුර මහතා සඳහන් කළේය. පළාත් සභා නවයේ මෙම සුඛෝපභෝගී වාහන පාවිච්චි කළ සෙසු ප්‍රධානීන් වන්නේ පළාත් සභා අමාත්‍යවරුන්, සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන්, සභානායකවරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ය.
පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරුන් ඇතුළු ප්‍රධානීන් පාවිච්චි කළ වාහන අතුරින් රැසක් දැනට එම සභාවල වෙනත් නිලධාරීන් පාවිච්චි කරන බවටද  රාජ්‍ය  අමාත්‍යවරයාට තොරතුරු ලැබී ඇත. එසේ නම් ඒ නිලධාරීන් පාවිච්චි කළ වාහනවලට සිදු වූයේ කුමක්දැයි  යන්නද සොයා බලන ලෙස වක්කුඹුර මහතා විගණකාධිපතිවරයාගෙන්  වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පළාත් සභාවල වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ද (කෝප්) පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.