නිරෝෂණ කුමාර
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරි සඳහා යතුරුපැදියකට දිනකට කිලෝමීටරයකට ලබා දෙන රුපියල් දෙකක ඉන්ධන දීමනාව වැඩි නොකළහොත් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වසර ගණනාවක සිට රජය ලබාදෙන සොච්චම් මුදලින් දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ තම නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් මෙම තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කිසිසේත්ම රාජකාරි කිරීමට නොහැකි බවත් පෙන්වා දෙන එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මේ නිසා සේවා කටයුතු අඩාළ වීමේ අවදානමක් ඇතැයි ද කීය.
සේවා කටයුතු අඩාළ වුවහොත් තමන්ට එහි වගකීම භාරගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මීට අමතරව රාජකාරි සඳහා පෝලිම්වල නොසිට, බාධාවකින් තොරව ඉන්ධන ලබාදී, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සැපයුම් ගාස්තුවක් ලබාදෙන ලෙසත් ඉන්ධන කෝටාවක් ලබාදිය යුතු යුතු බවත් ඔහු කියා සිටියි.
දැනට පවතින අර්බුදය හමුවේ අනවශ්‍ය රැස්වීම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම් තාවකාලිකව හෝ කල්දැමිය යුතු බව සඳහන් කළ හෙතෙම රාජකාරි කටයුතු අතපසුවීම හේතුවෙන් විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට බලපෑම් එල්ල කළහොත් අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පැවසීය. දැනට එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ තීරණයක් ගෙන නැතත් මෙම කාරණා ඉටු නොවුණ හොත් සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒකරාශිවී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

