-
ලෝක සංචිධාන තුනකට ඉන්දියාවට පැමිණිලි
-
ජනපතිටත් වෙනම ලිපියක්
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ තීරණය සම්බන්ධයෙන් එම එකමුතුව ලෝක සංවිධාන තුනකටත් අසල්වැසි ඉන්දීය රජයටත් පසුගිය සතියේ දී පැමිණිලි කළේය.
පැන්ෂන් කැපීමේ....
ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය එසේ පැමිණිලි කළ ලෝක සංවිධාන තුනයි. එසේම එම එකමුතුව මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සිය දුක් ගැනවිල්ල සඳහන් කරමින් ජනාධිපතිවරයාටද පසුගිය සතියේදී ලිපියක් යොමු කර ඇත.
මේ අතර විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබුවහොත් ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.
රජය හිටපු ජනාධිපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය කාරණය සම්බන්ධයෙන් ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද අහිමි කිරීම අනුමත නොකරන බවද ඔහු කීවේය. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක පවසන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ දැරුව හොත් තමා මරාගෙන මැරෙන්න වුවත් සූදානම් බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී විශ්‍රාම වැටුප කපා දමන බව සඳහන් කළේය.