පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් - මහජන ආරක්ෂක ඇමති කියයි


සුජිත් හේවාජුලිගේ

පාස්කු ඉරුදින ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත් 2017 වසරේ සිට කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ කුමන්ත්‍රණය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා සියලු‍ සිදුවීම් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරියේ දී තොරතුරු ඉදිරිපත් කරන බවද  සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ  සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර පූර්ව ඉස්ලාම් අන්තවාදී ක්‍රියා මෙන්ම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හෙළිදරව්වීම වැළැක්වීමට ඕනෑකමින් කටයුතු කර ඇති බවට විමර්ශනවල දී තොරතුරු හෙළිවී ඇතැයි ද ඔහු පැවසීය.

එම කුමන්ත්‍රණය සඳහා  ආධාර අනුබලදී ඇති බවට කරුණු වාර්තා වීමෙන් පසු සලේ අත්අඩංගුවට ගත් බවද ඇමතිවරයා කීය. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන නිවැරදි දිශානතියට පැමිණ ඇතැයිද ඔහු  කීවේය.

මේ අතර හිටපු අමාත්‍යවරයකු වූ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට තොරතුරු අනාවරණයවී ඇතැයිද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

මෙය එම ප්‍රහාරය  සම්බන්ධයෙන් පැවැත්වුණු 14 වැනි විවාදයයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ට ඉහළින් කිසියම් කණ්ඩායමක් සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනවලදී පැහැදිලිවම තොරතුරු හෙළිවී ඇතැයි කී අමාත්‍යවරයා  සිද්ධියේ සංවේදී කරුණු හෙළිදරව් කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

මීට පෙර කිසිදු රජයක් පාස්කු මහ මොළකරු සහ එම කුමන්ත්‍රණය  ගැන පරීක්ෂණ පවත්වා නොතිබූ බවත් ඔවුන් කර තිබුණේ ඒ ගැන විමර්ශන පැවැත් වූ කණ්ඩායම සීසී කඩ මාරැකර යැවීම පමණක්  බවත්  ඔහු පැවසීය.