පාර්ලිමේන්තුවේ ලොකු පුටු නොදුන්නාට සජබ ජාත්‍යන්තරයට කියයි


දයාසීලි ලියනගේ

පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව (කෝපා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ මුදල් කාරක සභාව සඳහා විපක්ෂයෙන් සභාපතිවරුන් පත් නොකිරීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට හා අන්තර් පාර්ලිමේන්තු කමිටුවට පැමිණිලි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. 

රජයේ දූෂණ, වංචා රටට අනාවරණය වීම වැළැක්වීම සඳහා මෙම කාරක සභා තුනටම රජයේ පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබඳව පැමිණිලි කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය. මෙම කාරක සභා තුනේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම මෙතෙක් නොසලකා හැර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.