පාර්ලිමේන්තුවේ ගනුදෙනු හොයන්න විගණනයක් - වාර්තාව ලබන මාසයේ කථානායකට


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ඉල්ලීමක් අනුවය.

පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේදී සිදුව ඇතැයි පැවසෙන වාහන  සහ  මුදල් අවභාවිතය ඇතුළු සියලුම දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව  මෙම විමර්ශනයේ දී සොයා බැලෙනු ඇත.

පාර්ලිමේන්තු විධායක නිලධාරීන් දීමනා ගැනීමේදී ද කෝටි ගණනක මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳවද  විගණන අංශවල  විශේෂ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ එම විගණන විමර්ශනය මේ දිනවල කරගෙන යන බවයි. එම විගණන වාර්තාව මේ මස අග කථානායකවරයාට භාර දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේ නිලධාරියකුගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලැබුණු පසු ඒ කරුණු පදනම් කරගෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය. විගණන වාර්තාවෙන් හෙළි කෙරෙන කරුණු  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.