සුජිත් හේවාජුලිගේ
පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමට සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සඳහා නිතර යොදා ගන්නා බවට රජයේ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ ඇති යාපනය, හලාවත, දෙවුන්දර ඇතුළු මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
මෙම මුහුදු කලාප ඉලක්ක කර නාවික සහ ගුවන් මෙහෙයුම් ද වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ධීවර බෝට්ටු යොදා ගනිමින් කෙරෙන මිනිස් ජාවාරම් නැවතත් වැඩි වී ඇති අතර යාපනය සහ හලාවත මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් එම ජාවාරම් වැඩි වශයෙන් සිදුවෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පෙන්වා දෙති.
ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යනාදී රටවල් බලා යාත්‍රා කිරීම වෙනුවට හලාවත ප්‍රධාන වයඹ සහ බටහිර වෙරළ තීරයේ සිට ප්‍රංශයට අයත් ‘රීයූනියන් (Reunion)’ දූපතට නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් පලා යෑමේ වැඩි ප්‍රවණතාවක් මෑතක සිට දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් ද ඉහළ ගොස් ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.
පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඉෂාරා සෙව්වන්දි සහ තවත් පාතාලකරුවන් රැසක් හොර රහසේ ධීවර බෝට්ටු යොදාගෙන ඉන්දියාවට පැන ගොස් ඇත්තේ ද යාපනය මුහුදු තීරයෙන් බව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇත.
මුල් කාලයේ දී මෙම මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට පැමිණියේ හෙරොයින් වුවත් දැන් වැඩි වශයෙන් පැමිණෙන්නේ කේරළ ගංජා සහ විවිධ වේදනානාශක ඖෂධ වර්ග බව පැවසේ. මෙම ඖෂධ කරල් ගෙන්වීමේ ජාවාරම පිටුපස ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සිටින බවට රජයේ බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇත.
මෙයට අමතරව ඉන්දියාවේ සිට යාපනය මුහුදු තීරය හරහා කහ සහ ඉඟුරු ජාවාරමක් ද සුලභව සිදුවන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මේ අතර පාතාලකරුවන් සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශයන්ට කැටුව යන ධීවරයන් පිරිසක් පිළිබඳව ද බුද්ධි අංශවල අවධානය යොමුව ඇත.