ප්‍රසූත දීමනා රජයෙන් ගෙවන්න අරමුදලක්


චාමර සම්පත්

ශ්‍රමබලකායට කාන්තාවන්ගේ දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීම සඳහා ප්‍රසූත දීමනා රජය මගින් ගෙවීමේ අරමුදලක් හඳුන්වා දීමට  කම්කරු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.


ප්‍රසූත නිවාඩු ලබාගන්නා කාලසීමාවන් තුළදී වැටුප් ගෙවීමට සිදුවීම නිසා කාන්තාවන් සේවයට බඳවාගැනීමට බොහෝ ආයතන අකමැත්තක් දක්වන අතර මේ සම්න්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන තිබේ. එහිදී රජයේ සහ පෞද්ගලික ආයතනවල දායකත්වය මත විශේෂ සුබසාධන වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා වී ඇත.

එමගින් කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ගෙවීම්, අනතුකරදී හෝ රැකියා අහිමිවීමකදී වන්දි ආදිය ගෙවීම් සිදුකරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


එමෙන්ම ශ්‍රම බලකායට වැඩි වශයෙන් කාන්තාවන්ට එක්වීමට අවස්ථාව ලබාදීම සඳහා රාත්‍රි කාලයේදී වැඩ කිරීමට අවස්ථාව, අතිකාල කළ හැකි කාල සීමාව තීරණය කිරීම, තමන්ගේ කැමැත්ත මත වැඩ කිරීම හෝ නොකිරීම, නිවසේ සිට වැඩ කිරීම ආදී ලිහිල් ප්‍රතිපත්තියක් උදෙසා නීති හඳුන්වාදීම සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම සෑම ආයතනයකටම අනිවාර්යෙන් කාන්තාවන්  බඳවාගත යුතු ප්‍රතිශතයක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 


කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව 18 පිටුවේ පළවේ.