ප්‍රමිතියෙන් තොර ටැටූ නිසා එච්.අයි.වී. අවදානමක්


නිශාන්ත කුමාර බණ්ඩාර

ප්‍රමිතියෙන් තොරව ටැටු සහ පච්චා කෙටීමෙන් එච්.අයි.වී. සහ හෙපටයිටිස් රෝග ආසාදනය වීමේ ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

එකම ඉදිකටුව කිහිප දෙනකුට භාවිත කිරීම නිසා එවැනි රෝග හට ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ සඳහන් කරයි.

එක් අයකු සඳහා යොදාගත් උපකරණ විනාශ කොට තවත් අයකුට නව උපකරණ භාවිත කරන්නේ නම් මේ තත්ත්වය තරමක් දුරට හෝ මගහරවා ගත හැකි බව හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරයා මෙසේ කීය.

“ටැටු සහ පච්චා කෙටීමේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි කුඩා කටුවකින් ලේ එනතුරු කුඩා සිදුරක් විදින එක. ඒ කටුවල ලේ තැවරෙන්න පුළුවන්. ඒ ලේ බින්දුව තැවරුණු කටුව තවත් අයකුට භාවිත කළ හොත් ⁣සමේ ලෙඩ රෝග බෝවීමේ අවදානමක් තිබෙනවා. එක් අයෙකුට එක් කටුවක් භාවිත කරන්න ඕනෑ.

නැතිනම් එක් අයකුට විද්ද කටුව ඉවත් කරලා දාන්න ඕනෑ. එච්.අයි.වී. වෛරසය ඒ ලේ බිඳුවක තිබෙන්නේ ඉතා සුළු කාලයක්. ඉක්මනින් එය විනාශ වෙනවා. නමුත් හෙපටයිටිස් බී කියන වයිරසය ලේවල ටික කාලයක් පවතිනවා. ඒ නිසා භයානකකම වැඩියි. හොඳම දේ තමයි ලියාපදිංචි ආයතනයකින් මේ සේවාව ලබාගන්න එක. ලංකාවේ එවැනි ස්ථාන අඩුයි. එකවරක් භාවිත කර විනාශ කරන ස්ථාන තිබෙනවා. එවැනි ස්ථානයකින් මේ සේවාව ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ.”