ගයාන් සූරියආරච්චි
ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභුන් සහභාගී වන උත්සවවලට ආරක්ෂාව වැඩි කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අපරාධකරුවන් හෝ රැඩිකල් මත දරන ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය හෝ විවිධ ක්ෂේත්‍රවල නිල ඇඳුමෙන් සැරසී යම් අපරාධයක් කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බව ද ඉහළ නිලධාරීන් හමුවේ පොලිස්පතිවරයා පවසා ඇත.
ඒ අනුව ප්‍රභූවරුන් සහභාගිවන උත්සවවල රාජකාරිය සඳහා යොදවන ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම නිලධාරීන්ගේ අනන්‍යතාව සහ නිරවද්‍යතාව කල්තියා හඳුනාගත යුතු බවට පොලිස්පතිවරයා ඉහළ නිලධාරීන්ට දැනුම්දී ඇත.
ඒ අනුව ආරක්ෂක රාජකාරියේ යෙදෙන නිලධාරීන්, රථවාහන පාලන නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු මොනයම් හෝ නිල ඇඳුමකින් සැරසී රාජකාරීයේ යෙදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ නිරවද්‍යතාව එසේ තහවුරු කිරීම කළ යුතුය.
විශේෂ රාජකාරී අවස්ථාවල දී රාජකාරී නිලධාරීන් හඳුනාගැනීමට නිකුත් කරනු ලබන විවිධ වර්ණයන්ගෙන් යුත් අත් පලඳනා, පටිල බැජ් හෝ වෙනත් සංකේත ආදිය ලබාදීමේදී පෙරට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස්පතිවරයා පවසා ඇත.
පසුගිය දිනවල ව්‍යාජ නීතිඥයෙකු ලෙස පෙනී සිටි අපරාධ කරුවෙකු අධිකරණයට පැමිණ විනිසුරුවරයා ඉදිරිපිට දීම සැකකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීම වැනි සිදුවීම් හේතු කොටගෙන මෙම වැඩ පිළිවෙළ සැලසුම් කර තිබේ.