ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 68ක් පරිසරයට මුදා හැරීමෙන් සෞඛ්‍ය අවදානමක්


  • එකතු කරන අපද්‍රව්‍ය ටොන් 180,000 කින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ ටොන් 27,000 යි

ලවංගා මාධවී දෑරංගල

ශ්‍රී ලංකාවෙහි වාර්ෂිකව ජනනය වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 249,037 කින් සියයට 68 ක් (ටොන් 169,415) නිසි කළමනාකරණයකින් තොරව පිළිස්සීම හෝ නීතිවිරෝධි ලෙස බැහැර කිරීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දත්ත වාර්තාව සඳහන් කරයි.

එහි සඳහන් පරිදි සමස්ත ජනගහණයෙන් සියයට 82 ක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශවල අපද්‍රව්‍ය කළමනාකරණය පවතින්නේ අතිශය දුර්වල තත්ත්වයක ය. බැහැර කරනු ලබන සමස්ත අපද්‍රව්‍යවලින් එකතු කරනුයේ සියයට 73 ක් (ටොන් 181,000) වෙන අතර ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනුයේ සියයට 11 ක් (ටොන් 27,000) පමණ කොටසකි. එය ද බොහෝ දුරට සිදුවනුයේ නාගරික ප්‍රදේශවල ය.

එසේ ම අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය සහ බැහැර කිරීමේ ක්‍රියාවලියේ දී සියයට 41 ක් (ටොන් 101,450) පමණ කාන්දු වන අතර එය පරිසරයට ප්‍රබල අහිතකර බලපෑමක් එල්ල කරන බව ද එම වාර්තාවෙහි සඳහන් වෙයි.

උද්ගත වෙමින් පවතින මෙම අර්බුදයට මුහුණ දීම සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් සහ නිසි බැහැර කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.