පළාත් සභා ඡන්දයට අවස්ථාවක්


උපුල් වික්‍රමසිංහ

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව හොත් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි වාතාවරණයක් උදා වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉකුත්දා කතානායකවරයා විසින් නිවේදනය කරනු ලැබූ අතර ඒ අනුව එකී පනත් කෙටුම්පත සම්මත කළ හොත් දැනට බලාත්මක 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනතක් එමගින් හඳුන්වා දුන් මිශ්‍ර නියෝජන ක්‍රමයත් අහෝසි වනු ඇත.
මේ වන විට වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම කල්දමා ඇති අතර ඊට හේතු වී තිබෙන්නේ මිශ්‍ර නියෝජන ක්‍රමය යටතේ එම මැතිවරණ පැවැත්වීමට අදාළව සකස් කෙරුණු සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් මෙතෙක් අනුමත නොවීම නිසාය.


දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වශයෙන් මෙම පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අප්‍රේල් 06 වැනි දින ඉදිරිපත් කළ අතර 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත අහෝසි කිරීමට එමගින් යෝජනා කර තිබේ.


මන්ත්‍රීවරයාගේ එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාර්ශ්ව දෙකක් විසින් නඩු ගොනු කරන ලදී.