පළාත් රාජ්‍ය සේවයේ 5000කට ස්ථාන මාරුවීම් ලැබී නැහැ


ඉන්දික හේවාවිතාරණ

පළාත් රාජ්‍ය සේවයේ මේ වසරට අදාළව ස්ථාන මාරු ලබා දීම යටතේ ඇතැම් රාජ්‍ය සේවකයන්ට තවමත් ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මේ වසරට අදාළව ආසන්න වශයෙන් 5000කට ආසන්න පිරිසකට ස්ථාන මාරු ලබාගැනීමට නොහැකි වී තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න සඳහන් කළේය.
 
වාර්ෂික ස්ථාන මාරු ක්‍රමයට අනුව ජනවාරි මාසයේදී ස්ථාන මාරු ලබාගත යුතු නිසා අදාළ ස්ථාන මාරු ලබාදීම ලබන ජනවාරි 01 වැනි දින හෝ ඊට ආසන්න දිනවල සිදුකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු පැවසීය.
 
ස්ථාන මාරුවලට අදාළ මූලික කටයුතු ලබන මාසයේදී ආරම්භ වෙන බවත් පසුගිය කාලයේදී නිසි ලෙස ස්ථාන මාරු ලබාගැනීමට නොහැකිවීමෙන් පළාත් රාජ්‍ය ආයතනවල සේවකයන්ගෙන් යම් කොටසක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් මින් අතිබහුතරයක් අධ්‍යාපන අනධ්‍යයන සේවයට අයත් පිරිස් බවත් හෙතෙම සඳහන් කළේය.
 
මධ්‍යම රජය යටතේ ස්ථාන මාරු සිදුවීම යහපත් ලෙස සිදු වුවද ඇතැම් පළාත් සභාවලට අයත් රාජ්‍ය ආයතනවල සේවකයන්ට ස්ථාන මාරු ලබාගැනීමේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවද ලේකම්වරයා පැවසීය.