පළාත් තුනක කඳු දෙදාහක් පරීක්ෂාවට


සුජිත් හේවාජුලිගේ

මධ්‍යම, සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක නායයාමේ අවදානම සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය තීරණය කර ඇත.

එම සංවිධානයේ විශේෂඥයන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද ජල සම්පත් මණ්ඩලය ඇතුළු වෙනත් ආයතනවල විශේෂඥයන්ද  සම්බන්ධ කරගැනීමට එම සංවිධානය බලාපොරොත්තු වේ. 

ජනතාව පදිංචිව සිටින සහ ආශ්‍රිතව සිටින කඳු පන්ති මෙහිදී විශේෂයෙන් ඉලක්ක කෙරේ. මේ අතර කඳු නාය යෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට ද මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.