පවුල් හතරකින් එක් පවුලක් බඩගින්නේ - ඒකාබද්ධ විපක්ෂ නායකයෝ අයි.එම්.එෆ් හමුවී කියති


සුජිත් හේවාජුලිගේ

ආර්ථික අර්බුදය හමුවේ රටේ සෑම පවුල් හතරකින් එක් පවුලක් බඩගින්නේ සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දුන්හ.

මේ හේතුවෙන් ණය සහන වාරික කිසිදු කප්පාදුවකින් තොරව ලබා දෙන්නැයි ද ඔවුහු ඉල්ලීමක් කළහ. මෙම ඉල්ලීම කළේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ කොළඹ දී ඉකුත් 18 වැනිදා කළ සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට සහභාගි වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසුවේ ජනතාව ඉතා අසීරු අඩියක සිටින හෙයින් රටට උපරිම ප්‍රතිලාභ අත්කර දෙන ලෙස එම නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

එසේම හැකරුන් විසින් සොරකම් කරගනු ලැබූ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල නැවත අත්පත් කර ගැනීමට රජයට පීඩනයක් එල්ල කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද මන්ත්‍රීවරයා පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සමඟ දීර්ඝව සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත සහ අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගි වූහ.