පවුල් 15,000ක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල


සුජිත් හේවාජුලිගේ

කාලගුණ ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථානවල තවමත් සිටින බව වාර්තාවේ.

ස්ථාන 515ක මෙම පිරිස රඳවනු ලැබ සිටිති. මේ අය පදිංචි කිරීම සඳහා සුදුසු තැන් සොයා ගැනීම විශාල අභියෝගයක්ව තිබෙන බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ එම පවුල් ද ඉදිරි දිනවල නැවත පදිංචි කිරීමට කටයුතු කරගෙන යන බවයි. 

කාලගුණ ආපදාවෙන් විපතට පත් වූ පවුල් 65,140ක් නැවත පදිංචි කළ බව ද ඔහු සඳහන් කළේ ය. මේ අනුව ඉවත් කර ඇති කඳවුරු සංඛ්‍යාව 1,650කි.

විපතට පත් වූ අයට දැන් අවශ්‍ය වන්නේ එදිනෙදා අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවලට වඩා ස්ථාවර නිවාස සහ ඒවාට අවශ්‍ය උපකරණ යනාදිය බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මීට පෙර පදිංචිව සිටි ස්ථානවල පදිංචි කිරීමට නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක් ද මේ පිරිසේ සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.