පවුලක මාසික වියදම හැත්තෑ හය දාහකට නගී


සුජිත් හේවාජුලිගේ 

ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල්  76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලු‍ත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල්  63,820 ක පමණ අගයක  බවද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදමෙන්  සියයට පනස් තුනක් එනම් රුපියල් 40632ක මුදලක් වැය  කිරීමට සිදුව ඇත්තේ ආහාර සපයාගැනීම සඳහාය. ඉතිරි රුපියල් 35,492 ක මුදල (මුළු වියදමින් සියයට 47ක්)  වැය වෙන්නේ ආහාර නොවන  අවශ්‍යතා සඳහා ද වෙයි.


මේ අතර ශ්‍රී ලංකාවේ  පවුල්වලින් සියයට  60  කගේ   මාසික ආදායම 2022 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේදී   පහළ ගොස් ඇති බව එම සංඛ්‍යා ලේඛනවල  සඳහන් වෙන්නේ යැයි පවසන අතුකෝරළ මහතා  ලංකාවේ විවිධ රැකියා කරන  (ශ්‍රම බලකාය) සියයට විස්සකට ආසන්න පිරිසකගේ ආදායමෙන් සියයට පනහකට වැඩි  ප්‍රමාණයක් අඩුවී තිබේ.
ශ්‍රී ලංකාවේ පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැයකරන මුදල්වලින් වැඩිම ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇත්තේ ණය ආපසු ගෙවීම සඳහා බවත්  එය ආහාර නොවන වියදම්වලින් සියයට  23 ක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.


මේ වසරේ පළමු කාර්තුවේදී  ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.5 ක  සෘන ආර්ථික වර්ධනයක් වාර්තාවීම හේතුවෙන් මේ උද්ධමනකාරී තත්ත්වය  මතුව තිබෙන බව  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.