පඩි සල්ලිවලින් බාගයක්ම පොලීසියට හමුදාවට


ඊළඟට සෞඛ්‍යයට

සුජිත් හේවාජුලිගේ

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙන මුළු මුදලින් අඩක්ම (සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාලවල පර්‌යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත. 

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69,491කි. මේ අනුව එම මුදලින් රුපියල් කෝටි 33,940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනු ඇත.   


මේ විමර්ශනය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහත්වරුන් විසිනි.   


රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක් ( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණය වී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

   
මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11,800කි.