සුජිත් හේවාජුලිගේ
තමන් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ අරමුදලට ලබාගත් වැටුප නැවත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එහි නායකයන්ට එරෙහිව නඩු පැවරීමට මේ දිනවල සූදානම් වෙති.
මේ කටයුතු සඳහා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකු උදව් කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයන්හිදී මන්ත්‍රී වැටුප් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගත් බවත් එසේ ලබා ගත් සියලු මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ නඩු පවරන බවත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කළේය.
තමන්ගේ වැටුප් මුදල්වලින් ඇතැම් නායකයන් සුඛෝපභෝගී ජීවිත ගත කළ බව ද ඔහු චෝදනා කළේය. වැටුප් මුදල් සියල්ල පක්ෂ අරමුදලට ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ විශ්‍රාම වැටුප ද අහෝසි කළ බව කී හිටපු මන්ත්‍රීවරයා එය අන්ත අසාධාරණ, ම්ලේච්ඡ තීරණයක් බවද සඳහන් කළේය. විශ්‍රාම වැටුප කැපීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව දිගටම සටන් වදින බව ප්‍රේමසිරි මානගේ වැඩිදුරටත් පැවසීය.

