නොරොච්චෝල අළුවලින් පරිසරයට හානියක් නෑ - වයඹ පළාත් පරිසර අධිකාරිය


ලවංගා මාධවී දෑරංගල

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන්  පරිසරයට කිසිදු සැලකිය යුතු හානියක් සිදු නොවන බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනාවරණය වේ. 

බලාගාරය තුළ භාවිත කරන පෙරහන් පද්ධතිය අළු අංශු අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන බව හා එමඟින් පරිසරයට සිදුවිය හැකි බලපෑම් සැලකිය යුතු ලෙස පාලනය කර ඇතැයි වාර්තාවේ සඳහන් වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ එස්. කේ. ඒ. වන්නිආරච්චි ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සඳහා පසුගිය 28 වන අඟහරුවාදා දිස්ත්‍රික් ලේකම්වරයා, වයඹ පළාත් පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නාරා ආයතනය සහ මීපා ආයතනය යන ආයතන එක්ව සාකච්ඡාවක් ද පැවැත් වූ බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

තවද, මෙම විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා විදුලිබල මණ්ඩලය, ගල්අඟුරු ආනයනය කරන සමාගම් සහ වයඹ පළාත් පරිසර අධිකාරිය ඇතුළු ආයතන මැයි 5 වැනි දින නැවත ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවීමට නියමිතය.

පසුගිය මාර්තු 30 වැනි දින පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වුණේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලක්විජය බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් අවට පරිසරයේ ජලය සහ වාතය දූෂණය වන්නේ ද යන්න ගැන වාර්තාවක් සපයන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ය. මෙම වාර්තාව සකස් කර ඇත්තේ ඒ අනුව ය.