සුජිත් හේවාජුලිගේ
මිශ්‍ර සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය මෙතෙක් අවසන් කර නොතිබීමෙන් ඇතිවූ නීතිමය බාධා හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ ගැටලු මතුව ඇතැයි මැතිවරණ ප්‍රධානීහු පළාත් ඡන්ද විමසීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ මැතිසබා විශේෂ කාරක සභාවට දැන්වූහ.
කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි නොවීම හේතුවෙන් එම පනතේ විධිවිධාන ප්‍රකාරව මීළඟ පියවර ලෙස කථානායකවරයා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පස් දෙනකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුවේ වාර්තාවද මාස දෙකකදී ජනාධිපතිවරයාට භාර දියයුතු වුවද එය මෙතෙක් භාරදී නොමැති බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩි දුරටත් පැවසූහ. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරැණු විමසන ලදී.
ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් දෙවැනි වරට පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරු පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසූහ.
ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
එම පනතට කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවද කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.
2017 පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මෙහිදී කාරක සභා සභාපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එමෙන්ම මීළග රැස්වීම සඳහා සීමා නිර්ණ කොමිසමේ නිලධාරීන් කැඳවීමටද තීරණය කරන ලදී. මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුල්ලාෆර් සහ සාමාජික මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන අයද සහභාගී වූහ.

