ලවංගා මාධවී දෑරංගල
මේ වන විට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපනය වෙමින් පවතින අතර මෝසම ආරම්භයත් සමඟ බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මධ්‍යම පළාත සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි අපේක්ෂා කරන බව සේවයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේ ය.
විශේෂයෙන් එළැඹෙන 26, 27 සහ 28 යන දිනවල මෙම ප්‍රදේශවලට වඩා තද වැසි ඇතිවිය හැකි අතර එම දිනවල මෝසම ආරම්භ වීමේ ප්‍රවණතාවක් පවතී. දැනට පවතින තොරතුරු අනුව මැයි මාසයේ සහ ජුනි මස පළමු සති දෙකේ තද වැසි සහ කඩින් කඩ වැසි මෙම ප්‍රදේශවල වරින් වර ඇතිවනු ඇතැයි ද ජුනි දෙවැනි සතියෙන් පසු වැසි අඩු වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.
එසේ ම අධික වර්ෂාපතනය නිසා හදිසි ගංවතුර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ද ඇති අතර රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය ආදි නිරිතදිග සහ බටහිර බෑවුම්වල ජීවත්වන ප්‍රජාව සුළු ගංවතුර සහ නායයෑම් තත්ත්ව ගැන අවධානයෙන් පසුවීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කරයි.

