නිර්වින්දන වෛද්‍යවරු 167කට ලංකාව එපාවෙලා


• දොස්තරලා 160 ක් පැදුරටත් නොකියා ගිහින්
• රට පනින්න උදව් කරන පිරිසක් ගැනත් රජය සෝදිසියෙන්

 සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර  එංගලන්තයේ සේවයට ගොස් ඇතැයි සෞඛ්‍ය  අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර විදේශීය පුහුණුව නිමවා  මෙරටට පැමිණි (පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා) විශේෂඥ වෛද්‍යවරුන් 323 දෙනකුගෙන් 160 දෙනකු  විදේශ රටවල සේවයට  ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ(තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

මෙම වෛද්‍යවරුන්ගෙන් පිරිසක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීමට නිසියාකාර නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ නිලධාරීහු එවැනි නීති පද්ධතියක් කඩිනමින්ම සකස් කළ යුතු බවට  රජයට යෝජනා කරති.
වෛද්‍යවරුන්  විදේශගතවීම වැළැක්වීම සඳහා වීසා  අවලංගු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යා හැකි  අතර ආචාර ධර්ම කඩ කිරීම පදනම් කරගෙන  වෛද්‍ය සභාවට ඔවුන්ගේ ලියාපදිංචිය පවා  අහෝසි කළ හැකි බව පැවසේ. එහෙත් එවැනි වැඩපිළිවෙළක් මේ දක්වාම නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව අපට  දැනගන්නට ඇත.


මේ අතර හොර රහසේ විදේශගත වන වෛද්‍යවරුන්ට ඒ සඳහා සහයෝගය දෙන නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන්ද  රජයේ අවධානය යොමුවී ඇත. ඒ පිරිස මෙලෙස විදේශගත වෙන වෛද්‍යවරුන්ගෙන් ‘‘ඊසි කෑෂ්’’ මාර්ගයෙන් අල්ලස් ලබා ගන්නා බවටද සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට   තොරතුරු අනාවරණය වී ඇත.


බොහෝ වෛද්‍යවරුන් විදේශගත වන්නේ ආර්ථීක ප්‍රශ්න නිසා බවත් විදේශගතව අධ්‍යාපනය ලබන සිය දරුවන්ගේ වියදම් සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් වැඩි දෙනකු විදේශගත වෙන බවත්  දැනගන්නට ඇත.


අසීමිත ප්‍රවාහන වියදම්, ඈත දුර බැහැර ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන් දැඩි පීඩාවට පත් කර ඇති අතර ඒ  තත්වයද  රට හැර යෑමට ප්‍රධාන හේතු සාධකයක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.


වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවත්  ඔවුන්ගේ ආර්ථීක තත්ත්වය වැඩි දියුණු කර සුවිශේෂී සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමෙන් මේ තත්ත්වය යම් මට්ටමකට  අවම කර ගත හැකි බවත් වෛද්‍ය වෘත්තිකයෝ වැඩිදුරටත්  පෙන්වා දෙති.