නාමල් යළි රිමාන්ඩ් - ඇප තීන්දුව 29දා


නිරෝෂාන් ප්‍රේමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 'එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  සිකුරාදා (18දා) නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  එළඹෙන 29දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුණි.

එසේම නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එළඹෙන 29 ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වේ.