නඩු තීන්දුවට එරෙහිව මහින්දානන්දට, නලින්ට ශ්‍රේෂ්ඪාධිකරණයට යා හැකියි - ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා


සුජිත් හේවාජුලිගේ

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙදෙනාට නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් දින 14 ක් ඇතුළත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පැවසීය.

ඔවුනට ඇත්තේ තව එකම එක අවස්ථාවක් පමණක් බවද ඔහු සඳහන් කළේය. මෙම අභියාචනය මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කරනු ලැබුවහොත් මහාධිකරණය විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරෙනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

මෙහි බරපතළ වරදක් සිදුව ඇති බව පැවසූ ආචාර්යවරයා රටේ  ප්‍රසම්පාදන කටයුතුවල නියැලෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස් මෙය විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු නඩු තීන්දුවක් බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු  ඇමතිවරුන් දෙදෙනාට එරෙහිව මහාධිකරණය දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.