දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඊ.පී.එෆ්. අරමුදලට දැඩි බලපෑම්?


උපුල් වික්‍රමසිංහ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලෙන් රජයට සපයා ඇති ණය මුදලින් කොටසක් කපා දැමීමක්  හෝ පොලී අනුපාත අඩු කිරීමක් (Haircut) කළ හොත්  එම අරමුදලට දැඩි බලපෑමක් සිදුවෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර ඒ ඔස්සේ රජයට ණය ලබා දී ඇති බැවින් එම ණය මුදල් ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් එමගින් මෙම අරමුදලෙහි ප්‍රතිලාභීන්ට ලැබිය යුතු ප්‍රතිලාභ මුදල්වලට දැඩි බලපෑමක් එල්ල වෙනු ඇති බව ද ආර්ථික විශේෂඥයෝ පවසති.
පැවති උද්ධමනකාරී තත්ත්වය හමුවේ අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රතිලාභවල වටිනාකම එහි අඩකින් පමණ අඩු වී ඇති බවත් එවැනි තත්ත්වයක මෙම අරමුදලෙන් රජයට ලබා දී ඇති ණය කපා හැරීමක් කළහොත් ප්‍රතිලාභීන්ට හිමි වෙන්නේ අඩු දායක මුදලක් බවත් ඔවුහු කියති.


එබැවින් වඩාත් වැදගත් වෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදල සහ වෙනත් එවැනි අරමුදල්වලින් රජයට සපයා ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගතකරණය නොකොට එම ණය මුදල් ගෙවීම සඳහා රජයට අමතර කාලයක් ලබා දීම බවත් ආර්ථික විශේෂඥයෝ කියති.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඒවා ව්‍යර්ථ විය.