දේශබන්දු නෙරපීමේ යෝජනාවට පක්ෂ කිහිපයකින් විරෝධය


සුජිත් හේවාජුලිගේ

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් ධුරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන  ආකාරය ස්ථාවර නියෝගවලට පටහැණි බව සඳහන් කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සමගි  ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන්ට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැණි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝගවල සඳහන් වෙතත් කථානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද ස්ථාවර නියෝගවල පැහැදිලිවම සඳහන් වන බවය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා භාරදෙනු ලැබීය.