දේශබන්දු නෙරපනවාට සජබෙ පක්ෂයි පොහොට්ටුව විරුද්ධයි - ඡන්ද විමසීම ලබන 5 වැනිදා


සුජිත් හේවාජුලිගේ

දේශබන්දු  තෙන්නකෝන් පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු අවස්ථාවේ දී එම නිර්දේශයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී දැඩිව හඬ නැගුවේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු වෙති.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පැවසුවේ දේශබන්දු  තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපන යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බවයි.

පොලිස්පතිවරයා පසුගිය කාලයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂයට කිසිදු පැහැදීමක් නැතැයි ද ඔවුහු සඳහන් කළහ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු ඡන්ද විමසීම පැවැත්වේ.

මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් (113ක්) ඡන්දය ප්‍රකාශ කළ යුතුවේ.

යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු  පොලිස්පති ධුරයෙන් නෙරපා හැරෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට ඇත.