දෙපැත්තෙන්ම එන්තරවාසි වටගල නාමල්ගෙන් බිලියන දෙකක් ඉල්ලයි


ප්‍රේමකීර්ති රණතුංග

පාර්ලිමේන්තු  මන්ත්‍රී  නාමල් රාජපක්ෂ එවූ එන්තරවාසියට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැති  සුනිල්  වටගල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා ඇත.

මත්ද්‍රව්‍ය සිද්ධියක්  සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් තමාගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් මෙයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුනිල් වටගල නියෝජ්‍ය ඇමැති වරයාගෙන් රුපියල්  බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබූ අතර එම එන්තර වාසියට පිළිතුරු වශයෙන්  එන්තරවාසියක් යවන නියෝජ්‍ය ඇමැති වටගල පවසන්නේ ඔහු පවසන අන්දමේ කීර්ති නාමයක්  නාමල් රාජපක්ෂට නොමැති  බවත්  ඔහු තමා සම්බන්ධයෙන්  කළ ප්‍රකාශ  සමාජ මාධ්‍යයේ  පළ වීම තුළ  තමාට කළ අපහාසය වෙනුවෙන් රුපියල්  බිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත්ය. ඔහුගේ නීතිඥ  සංඛ කරුණාරත්න විසින් මෙම  එන්තරවාසිය ඉකුත් සිකුරාදා යවන ලදී.