සුජිත් හේවාජුලිගේ
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) රාජ්‍ය ආයතනවල දූෂණ සහ ඒවාට සම්බන්ධ ප්‍රධානීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බලතල ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව එම කමිටු දෙකට එකී බලතල ලබාදීම සඳහා ස්ථාවර නියෝග ළඟදීම සංශෝධනය කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ස්ථාවර නියෝග සංශෝධනය කිරීම අනුමත කිරීම සඳහා යෝජනාවක් ස්ථාවර නියෝග කාරක සභාවට යොමු කිරීමටද පාර්ලිමේන්තුවේ අනුමතිය පෙරේදා ලැබිණ.
රාජ්‍ය ආයතනවල දූෂණ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපතිවරයාට පැමිණිලි හෝ නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් මේ දක්වාම නොතිබිණ.
මේ අනුව පසුගිය කාලයේ දී ආන්දෝලනයට තුඩු දුන් පරීක්ෂණ ගණනාවකම තොරතුරු කෝප් සහ කෝපා කමිටු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට ඉදිරි දිනවල යොමු කෙරෙනු ඇත.
එසේම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමටද තීරණය කර ඇත.
මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපතිවරයා පවසන්නේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරා ගැනීමට මෙසේ කටයුතු කරන බවයි.
දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතනවල ප්‍රධානීන් ඉතාම ඉක්මනින් කමිටුව හමුවට කැඳවා ඒ පිළිබඳ විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී යොමු කරන බවත් නිශාන්ත සමරවීර වැඩිදුරටත් පැවසීය.