දුම්රිය ටිකට් මිල වැඩිකරන්නේ නැහැ


  • දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය

නිරෝෂණ කුමාර

දැනට පවතින ගෝලීය අර්බුදය හා ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද කිසිසේත්ම දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට පියවර නොගන්නා බව බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පද්මප්‍රිය අවධාරණය කරයි. මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන දුම්රිය සේවය පාඩු ලැබුව ද එය ජනතාව පිට පැටවීමට කිසිදු අයුරකින් ක්‍රියා නොකරන බව ද ඔහු කියයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඩොලර් මිලියන 470 ක අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ බවට ගණන් බලා තිබේ. විශාල ආදායමක් ලැබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කළ ඔඩිසි දුම්රිය හා කොළඹ කොටුව සිට කන්කසන්තූරය බලා ධාවනය වන දුම්රියන්ද දැනට තාවකාලිකව නතර කර ඇත. එහෙත් ඒ බර මහජනතාව පිට පටවා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු කිසිදු අයුරකින් ඉහළ දැමීමට තීරණය කර නැතැයි සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය. 

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට දැනට කටයුතු නොකරන අතර ඉදිරි මාස තුනක කාලයකදී ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය. මේ අතර දැනට තාවකාලිකව වසා දමා ඇති උතුරු දුම්රිය මාර්ගය ලබන සතියේදී විවෘත කිරීමට හැකි වනු ඇතැයි ද උඩරට දුම්රිය මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳව නිශ්චිත දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි යැයි ද ඔහු සඳහන් කළේය.