දුම්රිය පීල්ලට දාන්න ඉඩම් බදුදෙයි


අජන්ත කුමාර අගලකඩ

රුපියල් කෝටි දහස් ගණනින් දිගින් දිගටම  පාඩු ලබමින් තිබෙන දුම්රිය සේවය පවත්වාගෙන යාම  සඳහා දෙපාර්තමේන්තුව සතු ඉඩම් දෙස් විදෙස් ආයෝජකයන්ට දිගුකාලීන බදු පදනම යටතේ දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා දුම්රිය වත්කම් කළමනාකරණය කිරීමේ ඒකකය නමින්  නව ඒකකයක් ද දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇත.


මෙම ඉඩම් දිගුකාලීනව බදු දීම සඳහා අභිප්‍රාය කැඳවීමේ නිවේදන දැනටමත්  පළ  කර ඇති අතර,අභිප්‍රාය පළ කිරීම් විශාල සංඛ්‍යාවක් දැනටමත්  ලැබී  ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග  හා ජනමාධ්‍ය අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් අක්කර දාහහතර දහසක් පමණ ඇතැයි කී ඇමැතිවරයා,ඉන් අක්කර තුන් දහසක් පමණ දැනටමත්  අනවසරයෙන් අල්ලාගෙන ඇතැයි ද සඳහන් කළේය.
එම ඉඩම්වලට  බදු නොගෙවන්නේ නම් ඒවා පවරාගැනීමට කටයුතු කරන බව ද ඔහු කීවේය.
 දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබමින් තිබියදී එය පවත්වාගෙන යාම රජයට විශාල බරක් වී ඇති බව කී ඇමතිවරයා දෙපාර්තමේන්තුව  2022 වසරේදී  රුපියල් කෝටි 3200ක්ද, 2021 වසරේ රුපියල් කෝටි 3700 ක්ද  පාඩුවක් ලබා ඇතැයි කීවේය
   මෙම තත්ත්වය හමුවේ දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා එහි පාඩුව අවම කර ගැනීමට දෙපාර්තමේන්තුව සතු ඉඩම් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා දිගු කාලීන බදු පදනම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි කීවේය.
 දුම්රිය නැවතුම්පොළවල් කේන්ද්‍ර කරගනිමින් ,දුම්රිය නගර නිර්මාණය කිරීම, හෝටල්, රෙස්ටුවරන්ට් ,නිවාස සංකීර්ණ ආදිය ඉදිකිරීම සඳහා මෙම ඉඩම් බදු දිය හැකි බව අමාත්‍යවරයා පවසයි. 

   පිටකොටුව, බම්බලපිටිය, කොල්ලු‍පිටිය, ගල්කිස්ස, හික්කඩුව,ඇල්ල, අනුරාධපුරය  ආදී ප්‍රදේශවල දුම්රිය ඉඩම්  සඳහා විශාල ඉල්ලු‍මක් තිබෙන  බව කී  ආචාර්ය  ගුණවර්ධන මහතා කොල්ලු‍පිටියේ සිට  මොරටුව දක්වා දුම්රිය මාර්ගය දෙපස ඇති ඉඩම් බදු දී මුදල් අයකර ගත හැකි වුවහොත් දුම්රියේ පාඩුව විශාල වශයෙන් අවම කරගත හැකි බවද සඳහන් කළේය.


 ඉඩම් වැඩිම ප්‍රමාණයක් ඇති දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව වෙයි.