දුප්පතුන්ගේ ගොඩට අලුතින් මිලියන 4 ක්


උපුල් වික්‍රමසිංහ

පසුගිය වසර හතරක කාලයේදී අලුතින් මිලියන හතරක ජනතාවක් දිළින්දන් බවට පත්ව ඇතැයි ලර්න් ඒෂියා ආයතනය විසින් මුළු දිවයිනම නියෝජනය වන පරිදි  සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ඒ අනුව 2023 වන විට රටේ සිටින මුළු දිළින්දන් ප්‍රමාණය මිලියන 7 ක් බව (ජනගහනයෙන් සියයට 31) ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.


අදාළ සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් සියයට 81 ක් ග්‍රාමීය ජනයා වන අතර 2019 සිට සියයට 15 ක අගයක පැවති ග්‍රාමීය දරිද්‍රතාව සියයට 32 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මේ අතර 2019 දී සියයට 6 ක මට්ටමක පැවති නාගරික දරිද්‍රතාව සියයට 18 දක්වා තුන්ගුණයකින් ද වැඩි වී ඇති අතර වතු ප්‍රජාවෙන් අඩකට වැඩි පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බවද එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
මේ තොරතුරු අනාවරණය වූයේ ලර්න් ඒෂියා ආයතනය විසින් අදාළ සමීක්ෂණයේ තොරතුරු ජනගත කිරීම වෙනුවෙන් පසුගිය 7 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරනු ලැබ තිබූ උත්සවයකදීය. එම අවස්ථාවට ලර්න් ඒෂියා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රොහාන් සමරජීව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න, කරීන් ප්‍රනාන්දු, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
පවතින සමාජ ආධාර වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළඟා වීමට අපොහොසත් වී ඇති බවත් වඩාත් අවදානමට ලක්වූවන්ට සහන සැලසීම සඳහා රජය ආරම්භ කර තිබෙන “අස්වැසුම” වැඩසටහන සඳහා ප්‍රතිලාභ ලැබිය යුතු ඇතැම් පිරිස් ලියාපදිංචි වී නොමැති බවත් එහිදී හෙළි විය.