දිස්ත්‍රික් හතක අවදානම් කලාපවල ජනතාවට රතු නිවේදන


නිමල කොඩිතුවක්කු

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික් 07ක ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ නායයෑම් රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව බදුල්ල, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජනතාවට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසීය. 

රතු නිවේදන නිකුත් කර ඇති ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවල කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලි ඇල, පස්සර, වැලිමඩ, ඌව පරණගම, මීගහකිවුල, කන්දකැටිය, ලු‍ණුගල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මිනිපේ, දොළුව, මැදදුම්බර, පාතහේවාහැට, ගඟඉහළ කෝරලේ, උඩපලාත, දෙල්තොට, ගඟවටකෝරලේ, අකුරණ, උඩුනුවර, යටිනුවර, පාතදුම්බර, තුම්පනේ, පස්බාගේකොරලේ, පන්විල, හාරිස්පත්තුව, පූජාපිටිය, හතරලියද්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, අරණායක, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම, රිදීගම, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, විල්ගමුව, අඹන්ගඟ කෝරලේ, උකුවෙල, රත්තොට, නාඋල, පල්ලේපොල, ලග්ගල, පල්ලේගම, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟු‍රන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට, නුවරඑළිය, කොත්මලේ, නැගෙනහිර, කොත්මලේ බටහිර, තලවකැලේ, අඹගමුව, නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එලෙස ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.

තද වැස්ස පහව ගියත් ගැඹුරු නාය යාම් සක්‍රිය වීම අවදානම් තත්ත්වයක් එම ප්‍රදේශවල පවතින බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඔහු පැවසීය.

මෙතෙක් අත්විඳි අවදානම් තත්ත්වයට වඩා විශාල බරපතළ තත්ත්වයකට ඉදිරියට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

එම දිස්ත්‍රික්ක 7 ද ඇතුළුව අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, මාතලේ, මාතර, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා  මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි.

මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.