දිට්වා සුළි කුණාටුව හෙට යයි


නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලංකාවට බලපා ඇති දිට්වා සුළි කුණාටුවේ බලපෑම හෙට (01) දිනයේ දිවයිනෙන් බැහැරව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එතෙක් උතුර, උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් සහ දිස්ත්‍රික කිහිපයක තද වැසි සහ තද සුළං පැවතිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.

දිට්වා සුළි කුණාටුව තිකුණාමලය දිස්ත්‍රික්කයට පහළින් කිලෝමීටර් හතළිහක් නිරිත දිසාවෙන් පැවැති බවත් ඔහු සඳහන් කළේය. 

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 200 ට අධික තද වැසි පතිත වූ බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. 

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි තද වැසිද සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි තද වැසිද ඇති විය හැකි බව ඔහු සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 අතර තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් ඔහු පැවසීය.

මේ අතර සිකුරාදා දිනය වන විට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 540ක වර්ෂාපතනයක් මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මඩුවෙන්  ලැබී තිබේ. තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 - 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.