දැන් වගා කළ යුත්තේ මාස තුනේ වී - මහාචාර්ය බුද්ධි මාරඹේ


උපුල් වික්‍රමසිංහ

පැවති ධාරානිපාත වර්ෂාව හමුවේ ජලයෙන් යට වූ ගොවි බිම්වල නැවත වී වගාවට යොමු වෙන්නේ නම් දිගුකාලීන වී ප්‍රභේදවලට නොගොස් මාස තුනේ වී කාණ්ඩවලට යෑම වැදගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉරිදා ලංකාදීපයට පැවසීය.ඒ සඳහා ප්‍රමාණවත් බිත්තර වී තිබිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

වැව් ජලය පිටාර ගැලීම නිසා වැලි සහ පස් කුඹුරු මත තිබිය හැකි බැවින් වී වගා කටයුතු නැවත ආරම්භ කිරීමේදී ඒවා ඉවත් කිරීමටද සිදු විය හැකි බව ඔහු කීවේ ය.

මහා කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 8 කට වැඩි භූමි ප්‍රමාණයක වී වගා කරන බවත් වර්ෂාව පැමිණීමට පෙර තෙත් කලාපය ද ඇතුළුව වී වගා කරන දිස්ත්‍රික්ක විසි පහේ හෙක්ටයාර් 520,000 ක භූමියක වී වගා කර තිබුණු බවත් කී මහාචාර්යවරයා එම ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ එනම්, හෙක්ටයාර් ලක්ෂයක් පමණ ජලයෙන් යටව ඇති බව ද හෙළි කළේ ය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල තවමත් වී වගා කර නැතැයි ද හෙතෙම කීවේය.